මාලදිවයිනට නව ජනපතිවරයෙක්
මාලදිවයිනේ උප ජනාධිපතිවරයා ව සිටි මොහමඩ් වහීඩ් හසන් මහතා අද පස්වරු 1.00ට මාලදිවයින් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් බව මාලදිවයින් වාර්තා පවසයි.
මාලදිවයින් ජනාධිපති මොහමඩ් නෂීඩ් මහතාගේ ආධාරකරුවන් ම පසුගිය දිනවල සිට පවත්වා ගෙන එන ලද විරෝධතාවන් නිසා නෂීඩ් මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව පැවසේ.
හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා අද පස්වරුවේ මාලදිවයින් රූපවාහිනියේ පෙනී සිටිමින් ජාතිය අමතමින්; තවදුරටත් රට පාලනය කිරීමේ බලය පාවිච්චි කිරීමට තමා අපේක්ෂා නොකරන නිසා ඉල්ලා අස්වන බව පවසා තිබේ. තමා ඉල්ලා අස්වුවත් රජය තවදුරටත් බලයේ සිටිය යුතු බව විශ්වාස කරන බවත් විදේශීය බලපෑම් එල්ලවිය හැකි යැයි සිතන බැවින් තමා ඉල්ලා අස්වන බව ද පවසා ඇත. ඔහු 2008 ඔක්තෝබර් 28 සිට ජනාධිපති ධූරයේ කටයුතු කර තිබේ.
400 -500ක පමණ විරෝධතාකරුවන් සමඟ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ නිලධාරීන් 60-70ක පිරිසක් මාලදිවයින් ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයට පහරදීමට අද පෙරවරුවේ එක් වීමෙන් පසු ව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළ බව එම වාර්තා පෙන්වා දෙයි.
www.news.lk(රජයේ නිළ පුවත් අඩවිය)
මාලදිවයිනට තවදුරටත් ලක් රජයේ සහාය.2012 පෙබරවාරි 08 බදාදා- පෙරවරු 07:20
කවුරුන් බලයට පැමිණිය ද මාලදිවයිනට ලක් රජය තවදුරටත් සිය සහාය ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මාලදිවයින තුළ සාමය ස්ථාපිත කිරීම, සශ‍්‍රීකත්වය සහ සංවර්ධනයට ශ‍්‍රී ලංකාවේ සහාය ලබාදෙන බවයි. මාලදිවයින තුළ සිදුවන දේශපාලන වෙනස්වීම් එහි අභ්‍යන්තර කටයුත්තක් ලෙස ද විදේශ කටයුතු අමාත්‍යාංශය හඳුන්වා දී තිබුණා. මාලදිවයින් ජනාධිපති මොහොමඞ් නෂීඞ් සිය ධුරයෙන් ඊයේ (07) ඉල්ලා අස්වුණා. එම තනතුර සඳහා උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඞ් වහීඞ් හසන් පත් වූ අතර මාලදිවයින තුළ සිදුවූ මෙම දේශපාලන පෙරළිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි විදේශ කටයුතු අමාත්‍යාංශය ලක් රජයේ ස්ථාවරය ප‍්‍රකාශ කර ඇත්තේ. ශ‍්‍රී ලංකාව අසල්වැසි රටක් ලෙස මාලදිවයින සමග ඇත්තේ දැඩි මිත‍්‍රත්වයක්.
www.hirunews.lk
මරාගේ ගජයා මහජනයාට බියේ ජනාධිපතිධුරය හැරදා හමුදා කඳවුරක ආරක්ෂාව පතයි.(2012.02.07)
ශ්‍රී ලංකා රෙජිමාධිපතිවරයාගේ අංක එකේ ගජයකු වූ මලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට එරෙහිව එරට නැගුණු විරොධතා හමුවේ අද මීට මොහොතකට පෙර ඔහු සිය ජනධිපති ධූරයෙන් ඉල්ලා අස්විය.
මාලදිවයින් උප ජනාධිපති වහීඩ් හසන් වෙත බලය පවර තිබේ.ජනධිපති නෂිඩ් මේ වන විට හමුදා මූලස්තනයේ රැකවරන පතා සිටි. එරට ගුවන්විදුලිය සම්පුර්ණයෙන් පොලිසිය විසින් අත්පත් කරගෙන තිබේ.
www.lankaenews.com
මොහොමඞ් නෂිඞ් මාලේ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
2012-02-07
ඩිල්ෂාන් මඩවල......
මාලදිවයිනේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මොහොමඞ් නෂිඞ් නිල වශයෙන් නිවේදනය කළේ අද පස්වරුවේයි. එරට රාජ්‍ය රූපවාහිනියෙන් ජාතිය ඇමතු මොහොමඞ් නෂිඞ් ප‍්‍රකාශ කළේ තව දුරටත් තමා ජනාධිපති ධුරයේ සිටිමෙන් ගැටුම් උත්සන්න වන බවයි. එහෙත් කිසිඳු රටවැසියෙකුට හානි සිදු කිරීමට අකමැති බවත් සුදුසුම විසඳුම ලෙස ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ප‍්‍රකාශ කෙරුණා.
www.nethfm.com
මාලේ ජනපති අස්වේ
තෙසතියක් තිස්සේ පැවැති විරෝධතා හා පොලිස් කැරැල්ලකින් පසුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂිඩ් අද (7) ඉල්ලා අස්විය.
එරට රූපවාහිනිය අල්ලා ගත් මාලේ පොලීසිය විපක්ෂ නාලිකාවක් ද විකාශනය කිරීම ඇරැඹීය. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එරට පළමු ජනාධිපති ලෙස සැලකෙන නෂීඩ් රාජ්‍ය රූපවාහිනියෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය කළේය.
‘වත්මන් තත්ත්වය යටතේ ඉල්ලා අස්වීම රටට යහපත් වනු ඇත. අයෝමය හස්තයකින් රට පාලනය කිරීම මට අවශ්‍ය නැත. මම ඉල්ලා අස්වෙමි‘ යනුවෙන් ඔහු රූපවාහිනියෙන් නිවේදනය කළේය.
ඔහු ඉල්ලා අස්වීමේ නිවේදනය කළේ මාලේ පොලීසියේ කොටසක් රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් සමග එක්වී පසුගිය තෙසතියේ විරෝධතා පැවැත්වීමත් සමගය.
ජනපති කාර්යාලය එය හැඳින්වූයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙසය.
වීදි බැස කැරැලි ගැසූ උද්ඝෝෂකයන් හා යුද හමුදා මූලස්ථානය අසල රැස්ව කලබල කළ පොලීසිය පලවා හැරීමට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ පාවිච්චි කළ බව හමුදා ප්‍රකාශක කර්නල් අබ්දුල් රහීම් ලතීෆ් ප්‍රංශ පුවත් සේවයට කීවේය.
පෙරදින මැදියම් රැයේ සිට විටින් විට හටගත් ගැටුම් අද (07) උදේවන තුරු පැවැති බව ද ඔහු සඳහන් කළේය.
ඉල්ලා අස්වන්නයැයි ජනපතිට බල කිරීම වේගවත් වූයේ විෂමාචාර හා විපක්ෂයට හිතවත්වී යැයි එරට අපරාධ අධිකරණ අගවිනිසුරු අබ්දුල්ලා මොහොමඩ් අත්අඩංගුවට ගන්නැයි ජනපති විසින් නියෝග කරනු ලැබීමෙන් අනතුරුවය.
මාලදිවයිනේ ජනපති වෙබ් අඩවිය මාලේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සාමය හා රටේ ස්ථාවරභාවය රකින ලෙස හා සාමකාමීව සිටින ලෙසයි.
මාලදිවයිනේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමට උදව් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ දේශපාලන තටයුතු අංශයේ සහකාර මහලේකම් ජනරාල් ඔස්කා ෆර්නැන්ඩස් ටරන්කෝ ලබන බ්‍රහස්පතින්දා මාලේ අගනුවරට පැමිණිමට නියමිතය.
ඔහු එනුයේ මාලේ විදේශ ඇමැති අහමඩ් නසීම්ගේ ඇරැයුමෙනි. ඉල්ලා අස්වූ ජනපති නෂීඩ් දේශපාලන සිරකරුවෙක් විය. 2008 දී පැවැත්වූ ප්‍රථම ප්‍රජාතාන්ත්‍රික ජනපතිවරණයේදී ඔහු ජනපති පදවියට පත්වූයේ දීර්ඝ කාලයක් පැවැති මයුම් අබ්දුල් ගයුම්ගේ ඒකාධිපති පාලනය අවසන් කරමිනි.
සංචාරක ව්‍යාපාරයෙන් හා ධීවර කර්මාන්තයෙන් යැපෙන මාලදිවයින දූපත් 1198 කින් සමන්විතය. තරුණ විරැකියාව, මත්කුඩු ප්‍රශ්නය, ඉස්ලාම් මූලධර්මවාදය, සංචාරක අවපාතය හා ජගත් ආර්ථික පසුබෑම වැනි කරුණු නෂීඩ් පාලනයට එරෙහිව අතෘප්තිය පැතිරවීමට හේතුවූ බව දේශපාලන විචාරකයෝ කියති.
නෂීඩ් හැමවිටම ගයුම්ගේ දේශපාලන විවේචකයා හා විරුද්ධවාදියා විය.
රටින් පිටුවහල්වී සිටියදී ඔහු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා ගත්තේය. ජනපතිවරණයේ දී ඔහු සියයට 54 ඡන්දය දිනා සිය රට පැමිණියේ වීරයකු ලෙසයි. ඔහුගේ ජයග්‍රහණයෙන් උද්දාම වූ මාලදිවයින් වැසියෝ එදා වීදි බැස නටමින් ගයමින් සතුට පළ කළහ.
www.lankadeepa.lk
මාලදිවයින් ජනපති ඉල්ලා අස්වෙයි
2012 පෙබරවාරි 08 වෙනි බදාදා, නිශානි දිසානායක
ආරක්ෂක හමුදා විපක්ෂය සමග
උප ජනපති ජනපති ධුරයට
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට ඔහු ලබාදුන් නියෝගයක් සම්බන්ධයෙන් පසුගිය සතිවල එරට මහජන උද්ඝෝෂණ පැවතිණි. මේ සමග එරට හමුදාව හා පොලීසිය විරුද්ධ පක්ෂයට එකතුවූ අතර ඔවුන්ගේ ඉල්ලීම මත තම උප ජනපති මොහොමඩ් වාහිඩ් හසන් වෙත බලය පවරමින් ජනපතිවරයා ඉල්ලා අස්විය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අප මාලදිවයිනේ මිනිවන් නිව්ස් පුවත් සේවය ඇමතූ අවස්ථාවේ දැනගන්නට ලැබුණේ සඳුදා රාත්‍රියේ මාලේ අගනුවර ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවූ බවයි. අඟහරුවාදා දහවල් වන විට තත්ත්වය සන්සුන්වූ බව මිනිවන් නිව්ස් ප්‍රකාශකයා පැවැසීය. 2008 වසරේදී මොහොමඩ් නෂීඩ් බලයට පත්වූයේ දීර්ඝ කාලයක් එරට පාලනය කළ මව්මුන් අබ්දුල් ගයුම්ගේ පාලනයට විරුද්ධව ජනතාව ගෙන ගිය උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙසය.ඔහු එරට සිව්වැනි ජනපතිවරයාය. මෙම මහජන විරෝධයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස ‘අන්නි’ යන නමින් එරට ජනප්‍රියවී සිටි නෂීඩ් කැපී පෙනිණි. මේ සම්බන්ධයෙන් කිහිප වතාවක්ම බන්ධනාගාරගත වීමටද ඔහුට සිදුවිය. මොහොමඩ් නෂීඩ් ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේත් ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේත් පදවියෙන් ඉල්ලා අස්වූයේත් අඟහරුවාදා දිනවල වීම කැපී පෙනෙන සිදුවීමකි. මෙහිදී ජනපතිවරයාට කිසිදු හිරිහැරයක් නොකරන ලෙස හිටපු ජනපති ගයුම් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබිණි.
ටික කලක සිට ජනපති නෂීඩ්ගේ රජය සම්බන්ධයෙන් මහජන විරෝධයක් තිබුණ අතර ආගමික නිදහස එරටට ලබාදීමට ඔහු උත්සාහ ගන්නා බව ප්‍රධාන චෝදනාව විය. මාලදිවයින ඉස්ලාම් ආගමික රටකි. විනිසුරු අබ්දුල්ලා මොහොමඩ් අත්අඩංගුවට ගැනීමට ඔහු නියෝග කිරීමෙන් විරෝධය උත්සන්න විය. විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජනපතිවරයා නියෝග කළේ රජය විවේචනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එය නීති විරෝධී බව කියමින් විනිසුරුවරයා ඔහුව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කළ පසුය. විනිසුරුවරයා නිදහස් කරන ලෙස ජාත්‍යන්තර වශයෙන් පවා ඉල්ලීම් කෙරුණද එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා දින විසි දෙකක් ඔහු සිරකොටගෙන සිටියේය. ජනපතිවරයා ඉල්ලා අස්වීමත් සමග විනිසුරුවරයාට නිදහස ලැබි තිබේ.
උප ජනාධිපතිවරයා මාලදිවයින් ජනපති තනතුරෙහි ඊයේ සවස දිවුරුම් දෙනු ලැබිය.
www.lakbima.lk




